Wow signal – සංඥාවෙන් වසර 40 කට පසු…

වර්තමානය වන විටත් අප ජීවත් වන පෘථිවියෙන් පරිබාහිර වෙනත් ග්‍රහවස්තුවක ජීවය පවතින බවට තහවුරු කරන සදෘෂ්‍ය සාධක නොමැති වුවත් ඒකාන්තයෙන්ම පෘථිවියෙන් පරිබාහිර ජීවය පමණක් නොව බුද්ධිමත් ශිෂ්ටාචාරද පැවතිය හැකිය යන ප්‍රකාශයට විරුද්ධ වීමට විශ්වයේ සුවිශාලත්වය ගැන යම් පමණකට හෝ අවබෝධයක් ඇති කිසිවෙකුට නොහැක. විශ්වයේ විපුලත්වය අනුව අනන්ත වූ තාරකා ආශ්‍රය කොට දියුණු ශිෂ්ටාචාර පවා පැවතීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය. ජනප්‍රිය ඩ්‍රේක් සමීකරණය අනුව ක්ෂීරපථය තුළම විද්‍යාව පරිහරණය කරනා මහේශාක්‍ය ශිෂ්ටාචාරම 10000 ක් පමණ ඇතැයි ඇස්තමේන්තු ගත කිරීම කෙනෙක් නොපිළිගත්තත් එහි ශිෂ්ටාචාරයකට ඇත්තේ මානව ශිෂ්ටාචාරය පමණක් යැයි කෙනෙක් කියයි නම් 21 වන ශතවර්ශය තුළ එය සාධාරණ ප්‍රකාශයක් ලෙස සැළකිය නොහැක.

Wow signal aliens

ආගමික ආධිපත්‍යයේ අන්ධකාරයෙන් වෙළී සිටි මධ්‍යතන යුරෝපය තුළ පෘථිවියෙන් පරිබාහිර සදෘෂ්‍ය ශිෂ්ටාචාර පැවතිය හැකි යැයි පැවසීම හුදෙක් ඒ ප්‍රකාශය කරන පුද්ගලයා හාස්‍යයට ලක් වීමට පමණක් නොව ඔහුට මරණය ළඟාකර දීමටද හැකියාවක් ඇති ප්‍රකාශයක් විය වර්ෂ 1600 දි ගියොර්දානෝ රූනෝ නම් ඉතාලි ජාතිකයා පල්ලියේ අඥාණ අළුගෝසුවන් විසින් පණපිටින් ගිණි තබා මරා දමනු ලැබුවේ වෙනත් ග්‍රහයන් මතත් මිනිසාට සමානව දියුණු සත්වයන් සිටිය හැකි බවට මත ප්‍රකාශ කළ නිසාය. ඉතා පටු ඒබ්‍රහමික් ලෝකයක සිරවූ මූලධර්ම වාදින්ට අනුව එම ප්‍රකාශය තම පළිඟු ගෝල හරි හතරැස් කණු මත පිහිටි තැටි පොළවේ උමතු දෙවියාගේ නිර්මාණයන්ට අභියෝගයක් එල්ල කරන්නක් විය. එසේ තීන්දු කළේ එම යල්පැන ගිය දර්ශනයේ විශාරද ඥාණයක් ඇති ජ්‍යේෂ්ටයන් නිසා වර්තමානයේදිවත් දර්ශනය බේරා ගැනීමට ඔවුනට කිව හැකි නිදහසට කරුණු ශුන්‍ය වේ.

ආගමික මාෆියාවෙන් චින්තනයට ගැසූ වැට කඩුලු වලට පයින් ගැසූ දා පටන් පිටසක්වල ජීවින් යන්න ඇතැම් විට විද්‍යාත්මක දෘෂ්ටිකෝණයද ඉක්මවා යන ජනප්‍රිය මේනියාවක් විය. ඒ සම්බන්ධව සාහිත්‍යය, දර්ශනය, විද්‍යාව, ව්‍යාජ විද්‍යාව පමණක් නොව නූතන අලුත් අමුතු ආගම් පවා බිහිවිය. අනන්ත විශ්වය තුළ ජීවත්වන්නේ අප පමණක්ද යන්න ගෝලීයකරණය වූ ලෝකයේ නූතන මිනිසාට වද දෙන ප්‍රශ්නයක් විය. ඇතැම් විද්වතුන් ප්‍රකාශ කළේ පිටසක්වල වෙනත් ජීවියෙකු නැතැයි යන හුදෙකලා හැගීම නිසා ශිෂ්ටාචාරය වුවත් නැවතීයාමට හැකි බවයි. එයට උදාහරණ ලෙස පොලිනීසියාවේ හුදෙකලා දූපත් වල උන්නතියට පත්ව පසුව වැනසී ගිය ශිෂ්ටාචාර නිදසුන් ලෙස ඉදිරිපත් විය. මිනිසාගේ චින්තනයේ උපරිම තලයට මේ වන විට ළඟා වී ඇති බවත් පිටසක්වල තාක්ෂණය හා විද්‍යාව ලැබීමෙන් පමණක් තවත් ඉදිරියට යාමක් සිදුවිය හැකි බවත් ඇතැම්හු වුශ්වාස කළ අතර ඒ ආශ්‍රිත කුමන්ත්‍රණ සිද්ධාන්ත සාහිත්‍යයක්ද නිර්මාණය විය. පිටසක්වලයන් සමග පණිවිඩ හුවමාරුවට හා තවත් දියුණු ශිෂ්ටාචාරයක් පෘථිවියේ ඇතැයි සන්නිවේදනය කිරීමට නොයෙක් ව්‍යාපෘති රැසක් බිහිවන්නට විය. අද දක්වාත් පිටසක්වල ක්‍රියාකාරිත්වයක් යැයි සැක කළ හැකි වාව් සංඥාව (Wow signal) ඔහියෝ විශ්වවිද්‍යාලය මගින් ග්‍රහණය කරන්නේ මෙවන් පසුබිමකය. ඒ 1977 දීය.

Wow signal

(Image source: wikimedia.org)

විශ්වයේ සියළුම දියුණු ශිධ්ටාචාර වලට පොදු විය හැකි උදාසීන හයිඩ්‍රජන් වල වර්ණාවලී රේඛාවේ (1420 MHz) සංක්‍යාතයෙන් යුක්ත වූ අනිකුත් පසුබිම් ඝෝෂා තරංග වලට වඩා 30 ගුණයක තීව්‍රතාවයකින් ගවුසීය හැඩයෙන් ලැබුණු රේඩියෝ ස්පන්ධයක් දුටු ජෙරී ඒමන් හට සිය විශ්මය ප්‍රකාශයට පත් වූයෙ එම පත්‍රයේම රතුපෑනෙන් වාව් යන විශ්මයාර්ථ ප්‍රකාශය ලියවීමෙනි. එදා පටන් මෙය වාව් සංඥාව නම් විය.

වාව් සංඥාව (Wow signal) දුටුවනම සමකාලීන පිටසක්වල මේනියාවේ හීවත් වූවෙකුට එය දියුණු පිටසක්වල ජීවියෙකුගේ හායි කීමක් මෙන් වැටහීම ස්වභාවිකය. එම චින්තන ධාරාව නිෂ්ප්‍රභ කරනු වස් විද්‍යාඥයෝ වාව් සංඥාව (Wow signal) ජනනය වීමේ ඇති හැකියාවන් වසර 40 ක් පුරා ගවේෂණය කළහ. වාව් සංඥාව මිනිසා විසින් ජනනය කරන ලද්දක් වනු ඇතැයි යන සියළු මත මුල් යුගයේම බිඳ වැටුණු අතර එය බාහිරින් අන්තරීක්ෂයෙන් පැමිණි ස්පන්ධයක් බව මේ වන විට සියළු දෙනාම එකග වේ. ස්වභාවික ක්‍රියාවලියකින් මෙතරම් විශාල තීව්‍රතාවකින් විශ්වීය පොදු සංක්‍යාතයකින් සංඥාවක් ජනනය වීම පැහැදිළි කරනු වස් ඇතැම් විට බුද්ධිමත් වූත් ඇතැම් විට ඥාණ ගෝචර නොවූත් මතවාද රැසක් ඉදිරිපත් වුවත් ඒ කිසිවකින් මේ දක්වාත් වාව් සංඥාව පිටසක්වල යන්ත්‍රයකින් ජනනය කරන ලදුව දියුණු ජීවි ශිෂ්ටාචාරයකට තම පැවැත්ම හගවන බලාපොරොත්තුවෙන් ධනු රාශිය ආශ්‍රිත වෙනස්ම සක්වල ජීවී විද්‍යාඥ පිරිසක් වසර ලක්ෂ ගණනකට පෙර එවනු ලැබූ පණිවිඩයක් යන්න ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල නොවේ.

Wow signal location

(Image source: wikimedia.org)

2017 වර්ෂයේදි මේ ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ පර්යේෂක කණ්ඩායමක් ප්‍රකාශ කළේ මෙය එම කාලයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ වල්ගා තරුවක හයිඩ්‍රජන් වායු වලාව හේතුකොටගෙන නිපදවුණු සංඥාවක් බවයි. නමුත් එම මතයද ස්ථානීය හා කාල දත්ත, තීව්‍රතාවේ ප්‍රමාණය වැනි කරුණු සම්බන්ධව විද්‍යා ප්‍රජාවේ දැඩි විවේචනයට බඳුන් වූවක් නිසා එමගින්ද මෙහි ප්‍රභවය පිටසක්වල වීමේ හැකියාව ප්‍රතික්ෂේප නොවේ. වසර 40 ක් මුලුල්ලේ මෙබදු විශ්මය ජනක සංඥාවක් නැවත අද දක්වා ලැබී නැත. නමුත් එබඳු පණිවිඩයක් කවදා හෝ ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් අහසට නෙත් අයා සිටින්නන් අතර විද්‍යාඥයන්ට අමතරව චිත්‍රපට නිර්මාණ කරුවෝද, ප්‍රබන්ධ රචකයෝද, ගුප්ත විශ්වාසිකයෝද මහත් ප්‍රමාණයකි.

මම දැනට වෛද්‍ය පීඨයේ අවසාන වසර ඉගෙනුම ලබමි. එමෙන්ම ජෛව රසායනය, අණුක ජීව විද්‍යාව, ස්වභාවික සම්පත් රසායනය හා ව්‍යාධි වේදය යන විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධව විශ්ව විද්‍යාල පර්‍යේෂිකාවකි.

Leave a Reply