ශර්ලොක් හෝම්ස් – Sherlock Holmes

“ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes)” මේ නම අහපු නැති කෙනෙක් නැතුව ඇති. තමන් සතුව තිබුන බුද්ධිය, පලපුරුද්ද හා ඉවසීම භාවිතා කරමින් මහා අපරාධ රාශියක සුලමුල සොයාගත් මේ රහස් පරීක්ෂකයාගේ එක වික්‍රමාන්විත පරීක්ෂණයක් වත් නොකියවූ කෙනෙක් ඇතැයි කියා සීතීම පවා අපහසුය, ඒ තරමටම ඔහු අපේ ජීවිතයේ වීර චරිතයක් වී ඇත.

Benedict as Sherlock Holmes

(Image source: telegraph.co.uk)

ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු සැබෑවටම සිටි අයෙක්ද?

ඔහු වාසය කල බේකර් වීදියේ 221/B නිවසට අදටත් ඔහුගේ නමට පැමිණෙන ලිපි රාශියකි. ඉන් සමහරක් ඔහුගේ හැකියාවන් අගයා එන ලිපි වන අතර සමහරක් ඔහු ලවා තමන්ගේ ගැටලු විසදාගැනීමට ඉල්ලමින් එන ලිපි කිව්වොත් ඔබ පුදුම නොවන්නේද? මීට වසර 80කට වත් කලින් මියගිය අයෙක් කෙසේද දැන් ජීවත් වන ඔබගේ ගැටලු විසදන්නේ? ශර්ලොක් හෝම්ස් චරිතය ඒ තරමටම මිනිසුන් අතර අදටත් ජීවමාන වූවකි. දැන් අපි බලමු සැබැවින්ම මේ ශර්ලොක් හෝම්ස් යනු කවුද නැතහොත් මේ හෝම්ස් චරිතය නිර්මාණය වූයෙ කෙසේද කියා

ශර්ලොක් හෝම්ස් යනු එංගලන්තයේ විසූ කීර්තිමත් ලේඛකයකු වූ සර් ආතර් කොනන් ඩොයිල් (Arthur Conan Doyle) විසින් නිර්මාණය කරන ලද මනහ්කල්පිත චරිතයකි. මුලින්ම අපි සර් ආතර් කොනන් ඩොයිල් ගැන මදක් කියවා බලමු.

ආතර් කොනන් ඩොයිල් 1859 මාර්තු 22 වන දින ස්කොට්ලන්තයේ එඩිංබරෝහි (Edinburgh) උපත ලැබීය. ඔහු එඩිංබරෝ සරසවියේ (The University of Edinburgh) වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත් අතර පසුව වෛද්‍යවරයෙක් ලෙස සේවයට බැදුනි. ඔහු එතරම් කීර්තිමත් වෛද්‍යවරයෙක් බවට කිසිම දිනයක පත්වූයෙ නැත.

ශර්ලොක් හෝම්ස් චරිතය බිහිවීම සදහා සාධක උන ප්‍රධාන චරිත යුගලයම ඩොයිල්ට හමුවන්නෙ ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන අවදියේ එඩිංබරෝ සරසවියේදීය. එහි ප්‍රමුඛයා වන්නේ සරසවියේ කා අතරත් ප්‍රසිද්ධ ප්‍රියමනාප නමුත් අහංකාර, විනෝදයට බර තරුණ ආචාර්යවරයෙක් වූ ජොසෙප් බෙල් (Joseph Bell) මහතාය. ක්ෂනිකව දකින දේ නිරීක්ෂණය කර බොහොම නිවැරදි ලෙස උපකල්පනයන් ගෙන ඒමට ඔහුට තිබුනේ පුදුම හැකියාවකි. බෙල් ඔහු හමුවීමට එන රෝගීන්ට, වෛද්‍ය සිසුන්ට ඔවුන් සමග කතා කිරීමටත් පෙර බාහිර නිරීක්ෂණ මගින් ඔවුන්ට ඇති ප්‍රශ්නයන් නිවැරදිව කිව්වෙ සැවොම පුදුම කරවමිනි.

හෝම්ස් චරිතය නිර්මාණය වීමට පරමාදර්ශී වූ එකම චරිතය බෙල් නොවේ, තවත් ප්‍රධාන එක් චරිතයක් ඒ සදහා පාර කැපුවේය. නමින් ඔහු හෙන්රි ලිට්ල්ජෝන්ය (Henry Littlejohn). ලිට්ල්ජෝන් යනු, එඩින්බරෝ හි සිටි දක්ෂ ව්‍යවහාරික වෛද්‍යවරයෙකි. ඔහු කාය විච්ජේකයෙක් මෙන්ම සෞඛ්‍ය පරික්ෂකවරයෙකි. ශර්ලොක් හෝම්ස් ගේ අධිකරණ වෛද්‍ය හැකියාවන්ට පාදක වි ඇත්තේ ලිට්ල්ජෝන් ගේ හැකියාවන්ය.

එකල එඩින්බරෝ හි සිදු වු හදිසි මරණ, ඝාතන අවස්ථා වලදි ලිට්ල්ජෝන්ගේ හැකියාවන් කැපී පෙනුන අතර ඔහු ඇගිලි සලකුණු අපරාධකරුවන් සෙවිමට යොදාගත් පරපුරේ පුරෝගාමියෙකි.

Sherlock Holmes යන නමෙහි, Holmes යන කොටස ලබාගෙන ඇත්තේ, ඩොයිල්ගේ මිත්‍ර වෛද්‍යවරයෙකු වු ඔලිවර් වෙන්ඩල් හෝම්ස්ගේ (Oliver Wendell Holmes) නම ඇසුරිනි. ඩොයිල්ගේ ප්‍රියතම සංගිතඥ ඇල්ෆ්‍රඩ් ෂර්ලෝක්ගේ (Alfred Sherlock) නම ඇසුරෙන් Sherlock යන කොටස ලබාගෙන ඇත.

මේ නම් දෙකෙහි එකතුවෙන් Sherlock Holmes යන නම නිර්මාණය විය

Sherlock Holmes drawing

(Image source: bigthink.com)

වාර්තා වී ඇති ආකාරයට ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes) උපත ලබා ඇත්තෙ 1854 වර්ශයේදීය. ඔහු වෘත්තියෙන් පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන අතර ඒ හැරුන විට ඔහු රසායනික විද්‍යාව, බොක්සින් ක්‍රීඩාව, උද්‍යාන පාලනය, සංගීතය හා රිවෝල්වර හැසිරවීම ආදී ක්ශේත්‍ර ගනනාවක නිපුනයෙකි. කොනන් ඩොයිල් විසින් රචනාකරන මුල්ම ශර්ලොක් හෝම්ස් පරීක්ෂණය වන්නෙ A Study In Scarlet හෙවත් සිංහල පරිවර්තනයෙන් ලෝහිත පරීක්ෂණ යන්නයි. මෙය 1887 දී රචනා උනි. පසුව The Sign of Four (සිව්‍ රහස් සලකුණ) දෙවනි කතාව ලෙස රචනා විය.

මේ දෙකම නවකතාමය ස්වරූපයක් ගත් ඉතා දිගු පරීක්ෂණ වන අතර ශර්ලොක් හෝම්ස් චරිතය ගැන කා අතරත් අවධානයට ලක්වූයේ 1891 වසරේ ඩොයිල් විසින් The Strand Magazine වෙත ලියන ලද කෙටි පරීක්ෂණ කතා සමගය. ඩොයිල් විසින් නිර්මාණය කරන ලද හෝම්ස්ගේ කතා 60කි. දිගු කතා 4ක් හා කෙටි කතා 56ක් ලෙස මේවා වර්ගවී ඇත. ඔබත් මමත් මීට වඩා බොහෝ ශර්ලොක් හෝම්ස් කතා ප්‍රමාණයක් කියවා ඇති බව නොඅනුමානයි නමුත් ඒ කතා ඩොයිල්ගෙ රචනා ශෛලිය ඇති වෙනත් කතුවරුන් විසින් පසුකාලීනව රචනා කරන ලද කතා වේ.

ශර්ලොක් හෝම්ස් චරිතය ගත්තොත් ඔහුගේ ජීවිතයම මොලය වෙහෙසවීමයි ඔහුගේ රැකියාව විනෝදාංශය මේ සියල්ල එයයි. අපරාධ පරීක්ෂණයන් නැතිවිට රසායනික විද්‍යා පරීක්ෂණය වලට කාලය ගතකරන්නෙ ඔහු ඒ නිසාය. සම්බාව්‍ය සංගීතයට ප්‍රියකරන හෝම්ස් දක්ෂ වයලීන් වාදකයෙකු බවද සදහන් වේ. හෝම්ස්ගේ මව් පියන් ගැන කිසිම සදහනක් නොවන අතර ඔහුගේ එකම නෑදෑයා ලෙස සිටින්නේ රජයේ උසස් රහසිගත රැකියාවක් කරන ඔහුගේ වැඩිමහල් සොයුරු මයික්‍රොෆ්ට් හෝම්ස්‍ ය (Mycroft Holmes). නිතරම තනිකඩ ජීවිතයක් ප්‍රියකර හෝම්ස් කාන්තාවක් ඇගයූයේ හෝ නම් ඒ කලාතුරකිනි.

නමුත් ඔහුගේ ගෞරවය නිතරම හිමිවන කාන්තාවක් වී නම් ඒ සිටු පවුලක බුද්ධිමත් තරුණියක් වූ අයිරින් ඇඩ්ලර්වයි (Irene Adler). ඇයට පසුව සිව් රහස් සලකුන පරීක්ෂණයේදී ක්‍රියාකල නිර්භීත ආකාරය නිසා වොට්සන්ගෙ බිරිද මේරි මෝස්ටන් (Mary Morstan) හටද විශාල ගෞරවයක් හිමිවී තිබුනි.

ශර්ලොක් හෝම්ස්ගේ සමීපතමයා වන්නෙ දොස්තර ජෝන් වොට්සන්ය

හෝම්ස්ගේ එකම මිත්‍රයා පමනක් නොව එකම සහකරුවා වන්නේද ඔහුය. වොට්සන් (Doctor Watson) යනු මුලින් බ්‍රිතාන්‍ය හමුදාව යටතේ ඉන්දියාවේ සේවය කල වෛද්‍යවරයෙක් වන අතර පසුව එයින් විශ්‍රාම ගෙන, පෞද්ගලිකව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ගමන් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වූයෙකි. රහස් පරීක්ෂක වෘත්තිය තුල ඔහුද හෝම්ස්ගෙ සමහර ක්‍රම අනුගමනය තුලින් දක්ශයෙකු වුවත් හෝම්ස්ගේ අහලට වත් පැමිණීමට ඔහුට නොහැකි විය. සමහරුන්ගේ මතය නම් ඩොයිල් වොට්සන් ලෙස නිරූපණය කරන්නෙ තමාවම බවයි. එයට හේතුව මොවුන් දෙදෙනා තුල බොහෝ සමානකම් ගැබ්වී තිබීමයි. හෝම්ස් විසින් සිදුකරන පරීක්ෂණ පාටකයන් වෙත ඉදිරිපත් කරන්නෙ වොට්සන් විසිනි.

Sherlock Holmes and Dr. Watson

(Image source: pgalmora.wordpress.com)

ශර්ලොක් හෝම්ස් මුල්ම පොත ලියවෙන්නෙ 1887 වුවත්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ පවා 1872 පමණ හෝම්ස් විසින් නිරතවූ යම් යම් පරීක්ෂණයන් ගැන සදහන් වී ඇත. 1893 දී ලියවෙන අවසන් ගැටලුව කතාවේදී මහාචාර්ය මොරියාටි (Professor Moriarty) සමග කරන ලැබූ පොරබැදීමේදී දෙදෙනාම රෂින්බාක් දියඇල්ලෙන් (Reichenbach Falls) පහතට වැටී මියගිය බවක් සදහන් වේ. නමුත් ඔහු වසර 3ට පමණ පසු නැවත දිවි බේරාගෙන වොට්සන් හමුවීමට පැමිණේ. ඒ වන විට වොට්සන්ගේ බිරිදද මියගොස් සිටියේය. හෝම්ස් නිරත වූ අවසන් පරීක්ෂණය නම් His Last Bow හෙවත් ඔබෙන් සමුගනිමි 1917 දී ලියවුනි.

නමුත් එයින් පසුව හෝම්ස් 1927 දී පවා යම් පරීක්ෂණයකට දායක වූ බව වාර්තා වී ඇත. 1927න් පසුව ඔහු ගැන තොරතුරක් සදහන් වන්නේ නැත. ඉන්පසු ඔහු ජීවත් වුනේ කොහෙද මියගියේ කවදා කොහිද කිසිවක් සදහන් වන්නෙ නැත. ශර්ලොක් හෝම්ස් යනු අදටත් අප අතර ඇති අමරණීය චරිතයකි.

මේ වගේ තවත් ලිපි | Read more like this

මම කෙවින් රුක්ශාන්, දැනට ආනයනය අපනයනය කරන ආයතනයක ගුණත්වය පිළිබඳ උපදේශකයකු ලෙස රැකියාවේ නිරත වී සිටිනවා. මීට අමතරව​ Cryptocurrency හා අනෙකුත් online ව්‍යාපාර ගැන ගවේෂණය කරනවා.