මිනීමරු වානරයා…

අප්‍රිකානු මහද්වීපයෙන් චිම්පන්සින්ව මුලින්ම බටහිර ලෝකයට හඳුන්වාදීලා පසුකාලීනව විද්‍යා පර්යේෂණවලට ලක් කරද්දි හැමතිස්සෙම වගේ පර්යේෂකයෝ උත්සහා කලේ චිම්පන්සි හැසිරීම් රටා එක්ක මානව හැසිරීම් රටා සමපාත කරලා මානව විද්‍යාත්මක අර්ථනිරූපන ගෙනත් පරිණාමික ගමන් මඟ තව තවත් පාදා ගන්න. මේ කාර්යෙදි සමස්ථ පර්යේෂණ ගමන් පථයම මූලීක වෙලා තිබුණු උපකල්පනය තමයි මානව සංහතියම නෛසර්ගිකවම රැගෙන ආ දරුණු ගති ලක්ෂණ රැසකින් හෙබි විශේෂයක් බව.

Killer ape

මේ මූලික උපකල්පනය 16 වෙනි සියවස අග තෝමස් හොබ්ස් විසින් රචිත ලෙවියතන් කෘතිය මඟින් උද්දීපනය කරපු අදහස්වල වඩාත් නූතන අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්. හොබීසියානු අර්ථනිරූපන වලට අනුව මිනිසා යනු ස්වාභාවික පරිසරය තුල අතිශයින්ම දරුණු, ම්ලේච්ඡ්ඡ, එකිනෙකා මරා ගැනීමට තරම් සහාසික ජීවි කොටඨාසයක්. දැන් කතාව එහෙම තියෙද්දි පසුකාලීනව විද්‍යාවෙ දියුණුවත්, අප්‍රිකාව බටහිරට විවෘත වීමත් වගේ කරුණු එක්ක චිම්පන්සියො බටහිර විද්‍යාවට නිරාවරණය වෙනවා. සංස්කෘතිමය වශයෙන් ගත්තම චිම්ප්ස්ලා පීතෘ මූලික සමාජයක්. Aggressive and highly territorial කියලා හඳුන්වනවා.

ඒ කියන්නෙ ඔවුන් ඉතාමත් ආක්‍රමණශිලි මෙන්ම ප්‍රචණ්ඩ ගති පැවතුම් පෙන්වන සත්ව කාණ්ඩයක්

එ් වගේම චිම්පන්සි කණ්ඩායම් අතර යුධමය තත්වයන් ඇති වෙනවා. මේ යුධමය තත්වයන් මනුශ්‍ය කණ්ඩායම් තරමටම සංකීර්ණ ගැටුම්. උදාහරණයකට 1974 – 1978 කාල වකවානුව අතර ටැන්සානියාවෙ ගොම්බේ වනෝද්‍යානය තුල හටගත් මෙතෙක් වාර්තාගත දීර්ඝතම චිම්පන්සි යුද්ධය සඳහන් කරන්න පුළුවන්. වනෝද්‍යානයේ උතුරු සහ දකුණු ලෙස දේශසීමා වෙන්කරගත් මේ සත්වයන් වසර හතරක් අඛණ්ඩව සටන් සිදු කරමින් තම වර්ගයා නැසීමේ මෙහෙයුම් දියත් කර තිබෙනවා. කසකේලා සහ කහාම නම් වලින් වෙන්කර හඳුනාගත් මේ චිම්පන්සී යුද්ධය අවසානයේදි කසකේලා පාර්ශවයට තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර දෙමින් නිමාවට පත්වුනා. හැත්තෑව දශකය තුල ප්‍රමුඛතම වානරවිද්‍යා අධ්‍යනවේදීනියක් වන ජේන් ගුඩොල් ප්‍රමුඛ අනෙක් විද්වතුන්ට ගොම්බේ සටන් විශ්මය දනවන්නක් වුනා. එතෙක් කල් චිම්පන්සින් මනුශ්‍යන් තරම් සහසික නොවන බවට වූ මතය කීතු කරමින් ඉහල ප්‍රයිමේටාවන්ගෙ දරුණු බවට ජීවමාන සාක්ෂියක් ඉතුරු කරමින් වානර ප්‍රජාව සහසිකත්වයට ඇද දැමීමට ගොම්බේ චිම්පන්සි යුද්ධය ඉවහල් වුනා.

චිම්පන්සි හැසිරීම් රටා සහ මානව හැසිරීම් රටා සමපාත කරන සාධක ලෙස සහසිකත්වය, පුරුශාධිපත්‍ය වැනි කරුණු මුල් බැසගෙන යමින් තිබෙන අවධියක තමයි කොංගෝ නිම්නයෙන් බොනෝබෝවන් සොයාගන්නෙ. බොනෝබෝවන් කියන්නෙ චිම්පන්සින්ට සමානකම් දක්වන නමුත් වෙනත් විශේෂයකට අයත් වානරයන්. බොනෝබෝවන් සහ චිම්පන්සින් මුල් කාලීනව එකම විශේෂයක් ලෙස හඳුනා ගැනුනත් පසුව ඔවුන් විශේෂ දෙකකට වෙන් කරන්නෙ ඉතාමත් පැහැදිලි රූපමය, ව්‍යුහීය සහ ජානමය වෙනස්කම් මත. බොනෝබෝවන් කරලියට ඒමත් සමඟම “මිනීමරු වානරයා” සිද්ධාන්තය උඩු යටිකුරු වෙනවා. සාමාන්‍යය භාසාවෙන් කිව්වොත් වලි දාගන්න, ගේම් ඇදගන්න, ප්‍රචණ්ඩ චිම්පන්සි වෙනුවට බොනොබෝව ඉතාමත් සමෙකාමී පිරිසක්. වලි, දබර, යුද්ධ වෙනුවට බොනෝබෝවන් සාමකාමී හැසිරීම් රටා පෙන්වන වානර විශේෂයක්.

අනෙක් විශේෂිතම කරුණ බොනෝබෝ සමාජය මාතෘ මූලික සමාජයක් වීම

චිම්පන්සි සංස්කෘතියය තුල පුරුශාධිපත්‍ය වෙනුවට බොනොබෝ සමාජයේ මුල් තැන ගැහැණු සතුන්. බොනෝබො සංස්කෘතිය තුල අපූරුතම කරුණ වන්නෙ ඔවුන්ගෙ ගැටුම් නිරාකරණ උපක්‍රමය. චිම්පන්සින් අතර ගැටුමක් සටනකින් බිය වැද්දවීමකින් කෙලවර වන විට බොනෝබෝ ගැටලු නිරාකරණ ක්‍රමවේදය පදනම් වන්නෙ ලිංගික සංසර්ගය මත… යම් කිසි පිරිමි සතුන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවීමට යන විටම බොනෝබෝ ගැහැණු සත්වයන් මැදිහත්ව ලිංගිකව එක්වීම මඟින් ප්‍රචණ්ඩත්වය සමනය කර ගැටුම නිරාකරණය කරනවා. බොනෝබෝ සංස්කෘතිය තුල ලිංගිකත්වය කොතරම්ද කියතොත් අනුව දශකයේ බීබීසි වාර්තා වැඩ සටහන් නිපදවිමට බොනෝබෝවන් තෝරාගත් විට කැමරා කාචය වැඩි කාලයක් වසා තැබීමට සිදුව ඇත.

Mating apes

(Image source: bbc.com)

මේ අපූරු සත්වයන්ව අධ්‍යනය කල මහාචාර්ය ෆ්‍රාන්ස් ඩි වාල් පවසන පරිදි

They make love, not war…

කෙසේ නමුත් මා මුලින් සඳහන් කල හොබීසියානු අර්ථ නිරූපන සහ මානව විද්‍යාත්මක සංකල්ප වලට බොනෝබෝවන් මරු පහරක් එල්ල කලා. සහසිකත්වය වෙනුවට සාමකාමීත්වයත්, පීතෘමූලික සමාජය වෙනුවට මාතෘ මූලික සමාජයත්, යුද්ධය වෙනුවට ලිංගිකත්වයත් රැගෙන ආ බොනෝබෝවන් the killer ape theory නැවත කියවීමකට ලක් කිරීමට බලපෑම් කලා. බොනෝබෝ හැසීරීම් රටා හොබිසියානු මතයන්හි එල්බ සිටි විද්‍යාඤයනට කොපමණ හිසරදයක් ඇති කලාද යත් ඇතැම් විද්‍යාඤයන් ප්‍රසිද්දියේ ප්‍රකාශ කර සිටියේ වඳව යාමට නියමිත සීමිත පිරිසක් බැවින් බොනෝබෝවන් එතරම් ගනන් නොගත යුතු බවයි. කෙසේ නමුත් මේ වන විට පරිණාමික වෘක්ෂය තුල බොනෝබෝවන් ස්ථාපිත කර හමාරයි. චිම්පන්සීන් සමඟ 97% DNA සමපාතයත්, බොනෝබෝවන් අතර 96% DNA සමපාතයත් අප හා ඔවුන් අතර සමීප බව තහවුරු කරනවා. නමුත් ගැටලුව තාමත් එලෙසයි…. මිනිසා නෛසර්ගිකව ප්‍රචණ්ඩත්වය කරා යොමු වන්නෙක්ද? අප පරිණාම වෘක්ෂය තුල වර්තමානට රැගෙන පැමිණ අැත්තේ චිම්පන්සි හැසිරිම් රටාද? එසේ⁣ත් නැතිනම් වික්ටෝරියානු ආකල්ප මඟින් යම් හෙයකින් යටපත් කර ඇති බොනෝබෝ හැසිරීම් රටාද? (සත්ව විද්‍යාව, පරිණාමය සහ මානව විද්‍යාවන් අතර අන්තර් සබඳතාව දැක්වීම සඳහා තබපු සටහනක්.)

සමහර කරැණු අන්තර්ජාලය, පොත්පත් ඇසුරිනි.

මේ වගේ තවත් ලිපි | Read more like this

Programmes Producer | Professional Fashion Designer | Writer