ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ලිවීමේදි කරන වැරදි හදාගමු

ප්‍රතික්‍රියා යාන්ත්‍රණ image

(Image source: wikimedia.org)

උසස් පෙළ රසායන විද්‍යාවට අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියා යාන්ත්‍රණ (reaction mechanisms) ලියන්න එනවා. සමහර වෙලාවට දිග යාන්ත්‍රණත් එනවා. ගොඩාක් නංගිල මල්ලිල කරන දෙයක් තමයි මේ විෂය නිර්දේශයේ තියෙන යාන්ත්‍රණ ටික සේරම කටපාඩම් කිරීම. ඒ වගේම ඒව සේරම ලියල ලියල පුරුදු වීම. ගොඩක් වෙලාවට ඒ වගේ එකක්ම තමයි පේපර් එකට එන්නෙත්. ඒත් සමහර අවුරුදු වල ටිකක් වෙනස් උපක්‍රමශීලීව ළමයාව නොමග යවන්න පුළුවන් යාන්ත්‍රණ ප්‍රශ්නත් අහල තියෙනවා. ඒ නිසා කටපාඩම් කරනවට වඩා අවබෝධයකින් යාන්ත්‍රණ අඳින්න හැකියාවක් ලබා ගත්තොත් ඒකයි වටින්නෙ.

ප්‍රතික්‍රියා යාන්ත්‍රණ කියන්නෙ කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නෙ කොහොමද කියල ඒකෙ අභ්‍යන්තරය විමසා බලන සටහනක්

ඒක කිසිසේත්ම කටපාඩම් කරන්න ඕන දෙයක් නෙවෙයි, මුලින්ම එතන සිදුවෙන දේ වටහා ගන්න. කාබොකැටායනයක් හරහා සිදු වෙනවද එහෙම නැත්නම් ඇනායනයක් මැදිහත් වෙනවද කියල බලලා ප්‍රතිකාරක වල ධ්‍රැවීය තාවය සළකමින් සිදුවෙන්න පුළුවන් ආකලන, ආදේශ ඔයාගෙ තියරි දැනුම එක්ක විශ්ලේෂණය කරන්න. යාන්ත්‍රණ ලියද්දි සැළකිලිමත් වෙන්න ඕනකරුණු මේවා.

  • එලෙක්ට්‍රෝන හුවමාරු දක්වන්නේ වක්‍ර ඊතල මගින්

ඉලෙක්ට්‍රෝන යුගලක් නම් වක්‍ර ඊතලයකුත් මුක්ත ඛණ්ඩකයක් නම් වක්‍ර අර්ධ ඊතළයකුත් යොදාගන්නවා. ඊතලය අඳින්නේ ඉලෙක්ට්‍රෝන චලනය පෙන්වන්න. ඒ නිසා ඊතලයෙන් සම්බන්ධ වෙන කොටස් දෙක ඉතා දුරින් අඳින්න එපා. ඒකෙන් ඔයා අවබෝධයක් නැතුවයි මෙහෙම දිග ඊතල දාල යාන්ත්‍රණේ බලි කූටුවක් කරගෙන තියෙන්නෙ කියන ඉම්ප්‍රෙෂන් එක එනවා.

  • සමහරු ධන ආරෝපන වලිනුත් වක්‍ර ඊතල අඳිනවා

සම්පූර්ණ වැරදියි. ලකුණු බිංදුවයි. ඒ කියන්නෙ ඔයාට අවබෝධයක් නෑ.

  • වක්‍ර ඊතලයක් කවදාවත් මයිනස් චාජ් එකෙන් ආරම්භ කරන්න එපා

මොකද වෙන්නෙ චාජ් ට්‍රාන්ස්ෆර් එකක් නෙවෙයි. හිතන්න එකසර යුගල් තුන එක්ක මයිනස් චාජ් එක එක්ක තියෙන ඔක්සිජන් ඛණ්ඩකකකින් (මෙතොක්සි ගෲප් එකකින්) ආදේශයක් වෙන්න ඇටෑක් කරනවා කියලා හොඳ ලීවින් ගෲප් එකක් තියෙන (අයඩින් වගේ) සංයෝගයකට. දැන් ඊතලේ ආරම්භ වෙන්න ඕන මෙතොක්සි ගෲප් එකේ ඉලෙක්ට්‍රෝන වලින් ඒක අවසන් වෙන්න ඕන අයඩින් සම්බන්ධ වුණු කාබන් මතින්. සමහරු මේක අයඩින් කාබන් බොන්ඩ් එකෙන් ඉවර කරනවා. ඒක වැරදියි, මෙතනදි වෙන්නෙ ඉලෙක්ට්‍රෝන කාබන් පරමාණුවට ලබාදීමයි. මේ වෙලාවෙදි සක්‍රිය සංකීර්ණයක් හැදෙනවා දෙවන පෙළ ආකලන ප්‍රතික්‍රියාවක් නම්. ඒ කියන්නෙ මෙතොක්සි ගෲප් එකේ ඔක්සිජන් සහ අපේ ටාගට් කම්පවුන්ඩ් එකේ කාබන් අතර බන්ධනයක් හැදෙන ගමන් (කඩ ඉරක්) ඒකෙ ලීවින් ගෲප් එක. (ඉවත් වෙන කොටස. බොහෝ විට හේලයිඩ කොටසක්) එක්ක තියෙන බන්ධනය කැඩෙනවා (ඒකත් කඩ ඉරක්) මේ ප්‍රතික්‍රියාව ඉතා වැදගත් වෙනවා පරිවර්තන වලදිත්. මේකට කියන්නේ විල්කින්සන්ගේ ඊතර් සෑදීමේ ප්‍රතික්‍රියාව. ඊතරයක් තිබ්බොත් හදාගන්න පුලුවන් ඒ ලෙවල් සිලබස් එකේදි මේකෙන් විතරයි.

  • ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සළකන කොට සම්භාවිතාව ගැනත් හිතන්න
අන්තක් අණුක ප්‍රතික්‍රියා තියෙනවා

එකම අණුවේ කොටස් දෙකක් එකට ප්‍රතික්‍රියා කිරීම චක්‍රීකරණය වගේ.

මේව හරිම වේගවත්. මොකද සම්භාවිතාව ඉතා ඉහළයි ප්‍රතික්‍රියක කාණ්ඩ දෙක එකම අණුවේ තියෙන නිසා. අපි අඳින බොහෝ ප්‍රතික්‍රියා අණු දෙකක ප්‍රතික්‍රියා. මේවා අරවට වඩා සම්භාවිතාව අඩුයි. වේගයත් අඩුයි. හේතුව එහෙම දෙකක් මාධ්‍යයේ හමුවෙන්න ඕන නිසා. අණු තුනක් එක වර මැදිහත් වෙන අවස්ථාවක් හිතන්න. මේවා ඉතාම දුලබයි නේද? කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේනෙ.  ඒ නිසා අණු තුනක් මැදිහත් වෙන යාන්ත්‍රණයක් ඔයා අනවබෝධයෙන් ලේසියට ඇන්දොත් ඒක වැරදියි. එහෙම වෙලාවකදි අනිවාර්යයෙන් යාන්ත්‍රණය දෙකට කඩල ස්ටෙප් දෙකකට ගන්න. තුන්වෙනි සම්බන්ධ වෙන අණුව ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මාධ්‍ය නම් පමණක් ඒක අඳින්න පුලුවන්.

උදා: ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් එකතු වීම තුන්වෙනි එකකින් අදින්න පුලුවන්.

හේතුව තමයි මාධ්‍ය කියන්නෙ සුලබ දෙයක් නිසා ඒක මැදිහත් වෙන්න සම්භාවිතාවක් තිබීම.

  • ප්‍රතික්‍රියා යාන්ත්‍රණය හරියට ඇන්ද නම් ඔයාගෙ එන්ට්‍රොපි තර්මඩයිනමික් දැනුම අනුව ඒකෙ වේගවත් පියවරයන් මොනවද?

සෙමින් සිදුවන පියවර මොනවද කියල දළ අදහසක් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒකෙන් මොකක්ක්ද මේකෙ සීඝ්‍රතා නිර්ණ පියවර කියල හොයා ගන්නත් පුලුවන් වෙන්න ඕන. (සෙමින්මසිද්ද වෙන එක සීඝ්‍රතා නිර්ණ පියවරයි) ඒකෙන් රේට් ඊක්වේෂන් එක ලියන්නත් පුලුවන් වෙන්න ඕන. අපි දැන් බලමු සමහර පන්ති වල සාකච්ඡා නොවෙන ඒත් වැදගත් යාන්ත්‍රණයක් දෙස. මේක සරලම යාන්ත්‍රණය, නියුක්ලියෝෆිලික ආදේශය,  එහෙම නැත්නම් නියුක්ලියෝෆයිලයක් මුලින් කිව්ව එක වගේ වෙන කාන්ඩයක් වෙනුවට එතැනට ආදේශ වීම.

මේක වෙන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා.
  1. සක්‍රිය සංකීර්ණය ඔස්සේ (දෙවන පෙළ) උඩ කතා කරා Sn 2
  2. කාබොකැටායනයක් ඔස්සේ (පළමු පෙළ) Sn 1 ඔයාට අණුව, නියුක්ලියෝෆයිලය, ලීවින් ගෲප් එක, ද්‍රාවකය වගේ කරුණු සැළකිල්ලට ගෙන මෙතනදි වෙන්නෙ මොන ප්‍රතික්‍රියාවක්ද කියල කියන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද එහෙම කියන්නෙ. හැදෙන කාබොකැටායනය ඉතා ස්ථාවර නම් (තෘතියික, ෆෙනිල්, වයිනයිල්) සක්‍රිය සංකීර්ණය හරහා වෙන්නෙ නෑ. මුලින් කාබො කැටායනය හැදෙනවා. ඊට පස්සෙ ස්ටෙප් එකේදි ආදේශ වෙනවා. කාබො කැටායනය තලීයයි, ඒ (sp2 hybridized) කියන්නෙ දෙපැත්තෙන්ම ආදේශ වෙලා රැසීමික මිශ්‍රණයක් හැදෙනවා. කාබො කැටායනය ස්ථාවර නැත්නම්, (ප්‍රාථමික, ද්විතියික) සක්‍රිය සංකීර්ණය හරහා වෙනවා. එහෙම වෙලා සන්‍යාසය වෙනස් වූ එකම ප්‍රකාශ සමාවයවිකය සහිත ප්‍රඩක්ට්ස් මිශ්‍රණයක් ලැබෙනවා. ලීවින් ගෲප් එක ගොඩක් හොඳ ස්ටේබල් එකක් නම් කාබොකැටායනය හැදෙන්න සම්භාවිතාව වැඩියි.

ප්‍රතික්‍රියා යාන්ත්‍රණ හා අනෙකුත් දේ ගැන තව විස්තර ඉස්සරහට ඉගෙන ගමු.

මේ වගේ තවත් ලිපි​ | Read more like this

 

මම දැනට වෛද්‍ය පීඨයේ අවසාන වසර ඉගෙනුම ලබමි. එමෙන්ම ජෛව රසායනය, අණුක ජීව විද්‍යාව, ස්වභාවික සම්පත් රසායනය හා ව්‍යාධි වේදය යන විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධව විශ්ව විද්‍යාල පර්‍යේෂිකාවකි.