ජීවයේ සම්භවය හා ජෛව රසායනික පරිණාමවාදය

පරිණාමවාදය ශ්‍රී ලංකාවේ උගන්වනු ලබන්නේ උසස් පෙළ ජීව විද්‍යා නිර්දේශය යටතේ පමණි. ඒ නිසා උසස් පෙළට ජීව විද්‍යාව හදාරා නැති අයගේ දැනුවත් භාවය උදෙසා මෙම ලිපිය ලියනු ලැබේ. බොහෝ දෙනා ඩාවිනීය පරිණාමවාදය, එහි අභ්‍යන්තර න්‍යායන්, ක්ෂුද්‍ර පරිණාමය සහ යූරි මිලර් වාදය ගැන වෙන වෙනම දැනුමක් නොමැති නිසා මේ සියල්ල ඩාවින් වාදයට ලඝු ඔට සිතා සිටින බව පෙනේ. මෙය උසස් පෙළ විෂය නිර්දේශයේ අන්තර්ගත ජෛව රසායනික පරිණාමවාදය ගැන විස්තරාත්මක රචනාවකි.

life from universe

ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද ස්වභාවික වරණ වාදය අනුව සියළු සතුන් ශාක හා අනිකුත් ජීවින්ගේ කාලානුරූපීව සිදුවූ වෙනස්වීම්, නව විශේෂ බිහිවීම ආදි කරුණු ගැන අවිවාදාත්මක පැහැදිළි ඒ වගේම ඉතා නිවැරදි විග්‍රහයක් සිදු කළ හැකි බව සියළු දෙනාම එකග වෙනවා. වර්තමානය වන විට ඩාවින්ගේ සිද්ධාන්ත අණුක ජීව විද්‍යාව, ප්‍රවේණි ඉද්‍යාව වැනි විද්‍යාවන් මගින් ඉඅපේක්ෂ ලෙස සාධනය වී තිබෙනවා. නමුත් කාලානුරූපීව මේ ආකාරයෙන් වෙනස් වන විකරණය වන ජීව ලෝකය බිහි වූයේ කෙසේද? කවදාද? මේ පැනයට ඩාවින් පිළිතුරු සැපයූයේ නෑ. ඔහු මැවුම් වාදය පිළිගත්තෙක් නොවූවත් එසේ පිළි නොගැනීමට ඔහුට හේතු වන්නේ තම සොයාගැනීම් වලට එකල පැවති ඒබ්‍රහමික ආගම් වල මැවුම් මොඩලය නොගැලපීමයි. එකල මැවුම් වාදය සමග පරිණාමවාදය ඒකාබද්ධ මැවුම්වාදයක් තිබුණා නම් ඔහුට එය පිළිගන්නට විය හැකියි. කෙසේ වුවත් ඔහුගේ යුගයේදි තිබූ අඩු දැනුම මත මේ ගැන කිසිම පැහැදිළි අවබෝධයකින් විග්‍රහ කරන්නට ඔහුට නොහැකි වුණා මෙන්ම මහා පරිණාමවාදය මගින් එය පැහැදිළි කෙරෙන්නේ නෑ.

එහෙනම් කොහොමද ලෝකෙ මුලින්ම ජීවය බිහි වෙන්නෙ?

ඒ ගැන ලෝක ඉතිහාසයේ පුද්ගලයන් ඉදිරිපත් කළ පිළිතුරු ප්‍රධාන 5 කට වෙන් කළ හැකියි.

  1. ස්ථාවරත්ව වාදය
    මෙයට අනුව ජීවයට ආරම්භයක් නැත. සැමදා ජීවය මේ අයුරින් තිබිණි, හෝ ජීවය වෙනස් වෙමින් පරිණාමය වෙමින් තිබිය හැක. නමුත් ආරම්භයක් නැත.
  2.  ඊෂ්වර නිර්මාණ වාදය
    කිසියම් බුද්ධිමත් සත්වමය ප්‍රපංචයක් මගින් ජීවය මේ තිබෙන ආකාරයෙන්ම (ආබ්‍රහමික දර්ශන වල) හෝ ආදි රූපාකාරයෙන් පරිණාමය සිදු විය හැකි පරිදි මුල්ම බැක්ටීරිය (ඇතැම් පෞරාණික මැවුම් වාද හා නූතන අළුත් මැවුම් වාදි ආගම් වල) ජීවය නිර්මාණය කළ බව.
  3. ස්වයං සිද්ධ ජනන වාදය
    ජීවය අජීවි දැයින් වරින් වර බිහිවූ බව. මෙම පෞරාණික මතය මහේක්ෂීය ලෝකය හා සම්බන්ධයි අතීත ග්‍රීක දාර්ශනිකයන් නෙළුම් මල් වලින් හංසයන් උපදින බවත් කුණු එක් වීමෙන් පස් එක් වීමෙන් වෙනත් ජීවින් ඉබේ බිහිවන බවත් විශ්වාස කළා. (මෙහි අණුක විග්‍රහයක් නැත.)
  4. කොස්මොසෝවන් වාදය
    ජීවය ආරම්භයේදි පෘථිවියෙන් පරිබාහිර වෙනත් ග්‍රහයෙකුගෙන් (හෝ ඕනෑම තැනකින්) මෙහි පැමිණි අතර පෘථිවිය තුළ පරිණාමයට ලක්විය.
  5. ජෛව රසායනික පරිණාමවාදය

ආදි පෘථිවි වායුගෝලයේ කාළගුණික තත්වයන් යටතේ භෞතික ක්‍රියාවලි මගින් ජීවයේ මූලික අණු සහ බහුඅවයවික ආදි සාගෑඅයෙහි රසායනිකව ජනනය වී එමගින් ප්‍රථම ප්‍රාග් න්‍යෂ්ටිකයන්ගේ බිහිවීම සිදු විය.

වර්තමානයේ ලැබී ඇති තොරතුරු අනුව පෘථිවිය සැමදා නොපැවති අතර එය මීට වසර බිලියන 4.5-5 අතර කාලයක බිහිවූවකි. මුල්ම ජීවින් ඉන් පසු කාලයකදි (වසර බිලියන 3.5) බිහිවී ඇත. ඒ අනුව ස්ථාවරත්ව වාදය ප්‍රතික්ෂේප වේ.

ලෝකයේ බොහෝ දෙනෙකාගමක් ලෙස පිළිගත් යුදෙව් ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් වල එක් වරකදී සිදුවූ, චේතාන්විතව කෙටි කලකදී (දින 7) කෙටි කලකට පෙර (වසර 600) සිදු වූ මැවීම මූලික අවධියේම නිෂ්ප්‍රභව ප්‍රතික්ෂේප විය. ඊට වඩා සංවර්ධිත නිර්මාණවාදි ආගම් වලද මිනිසා මේ ආකාරයෙන්ම නිර්මාණය වීම හා වෙනත් පැහැදිළිව ස්ඵුට වූ කරුනු වලට විරුද්ධ වූ කරුණු ඇති නිසා ඒවාද විද්‍යාව මගින් ප්‍රතික්ෂේප කරයි. අතීතයේද වර්තමානයේද අනාගතයේද බිහිවන සියලු නිර්මාණවාද විද්‍යාව හමුවේ ප්‍රතික්ෂේප වන මූලිකම කරුණ වනුයේ. ජීවයේ සම්භවය යම් ඊශ්වරයෙක් සිදු කරයි නම් ඒ ඊශ්වරයා ජීවි නම් ඔහු මැවීමට පෙරම ජීවය සම්භවය වී තිබීම නිසාය. එසේ නම් ජීවය සම්භවය වී තිබිය යුත්තේ ඊට පෙර වෙනත් ඊශ්වරයෙකු හෝ වෙනත් ක්‍රමයකින් මැවුම් කරු මවන අවස්ථාවේදිය. මේ ආකාර රේඛීය අනන්ත විසංවාදයක් ඇති වන හෙයින් ජීවයේ ආරම්භය මැවීමකින් ඇතිවේ යන්න විද්‍යාව මගින් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඒ අනුව අනාගතයේ වුවත් ඇති විය හැකි සියළු මැවුම් වාද දැනටම ප්‍රතික්ෂේපිතය. එනිසාම මැවුම් වාදය මෙම වාද 5 න් ජීවයේ සම්භවය උදෙසා ඉදිරිපත් කළ හැකි අතාර්කිකම වාදය වේ.

විද්‍යාගාර පර්යේෂණ මට්ටමේදි ස්වයං සිද්ධ ජනනවාදයේ එන කිසිම ක්‍රමයකින් කිසිදු ජීවියෙක් බිහි කිරීමට නොහැකි වී ඇත. එසේම එලෙස විස්තර කර ඇති බොහෝ ක්‍රම වර්තමාන විද්‍යාව අනුව රසායනිකව හෝ ජීව විද්‍යාත්මකව සිදුවිය හැකි ඒවා නොවේ.

කොස්මොසොයික වාදය අනුව (නූතනයේ ඉදිරිපත් කරනු ලැබූ) වෙනත් ග්‍රහලෝවකින් වල්ගාතරු මගින් ආදි බැක්ටීරිය පැමිණීමේ සම්භාවිතාවය නූතන විද්‍යාව මගින් පිළිගනු ලබයි. බැක්ටීරියාවලට ඇති ප්‍රතිරීධී හැකියාව සහ පසුකාලීනව උල්කාෂ්ම මත හමු වූ බැක්ටීරියාමය ෆොසිල මගින් මෙම වාදය සිදුවිය හැකි බවට සාධක ලැබේ.

ජෛව රසායනික පරිණාමවාදය වර්තමානයේ විද්‍යාත්මක ඤාණය සමග මැනවින් අතිපිහිත වන්නකි. අතීත පෘථිවි පෘෂ්ටයේ උෂ්ණත්වය සෙල්සියස් 4000- 8000 ක් පමණ විය. පසුව එයක්‍රමයෙන් සිසිල් වීමේදි කාබන් හා වාෂ්පශීලි නොවන ලෝහ මගින් පෘථිවි හරය සෑදුණ අතර පෘථිවි කබොල්ල ශුෂ්කව ගිණිකඳු ක්‍රියාකාරිත්වයෙන් පොහොසත්ව නිතරම විචල්‍ය ස්වරූපයෙන් පැවතුණි. එසේම පෘථිවි වායුගෝලය වර්තමාන සංයුතියට වඩා සම්පූර්ණයෙන් වෙනස් ලෙස එනම් වඩාත් සැහැල්ලු හයිඩ්‍රජන්, හීලියම්, නයිට්‍රජන්, ඔක්සිජන් වැනි වායුන් පෘථිවියේ වියෝග ප්‍රවේගය ඉක්මවා නික්ම ගිය අතර (අස්ථාවර සංඝණීකරණය වූ රත්වූ පෘථිවියේ ගුරුත්වය එම වායු රඳවා තබා ගැනීමට අපොහොසත් වීමෙන්) මෙම මුඉලද්‍රව්‍ය අඩංගු සරල අණු (ජලය, ඇමෝනියා, මීතේන්, කාබන් ඩයොක්සයිඩ්) ශේෂ විය. පෘථිවිය ක්‍රමයෙන් සෙල්සියස් 100 ට සිසිල් වූ විට ජලය වාෂ්ප ආකාරයෙන් පැවතීමට හැකි විය. පෘථුවියේ පැරණිම පාෂාණ වල ලෝහ ඒවායේ ඔක්සිහරණය වූ ස්වරූපයෙන් (Fe ii) තිබීම නිසා අතීත වායුගෝලය ඔක්සිහාරක එකක් බව පැහැදිළිවේ. පසුකාලීන පාෂාණ වල ඔක්සිකරණය වූ ලෝහ තිබීමෙන් ඔක්සිජන් පසුව ඇතිවූ බව පෙනේ. මෙම ඔක්සිජන් රහිත බව නිසා පහසුවෙන් කාබනික සංයෝග ජනනය වීම විද්‍යාගාර පර්යේෂණ මගින් ඔප්පු කළ හැකිය.

ඔක්සිහාරක වයුගෝලයක් තුළ ජීවයට අත්‍යාවශ්‍ය කාබනික සංයෝග බිහිවීම ප්‍රකාශ උත්ප්‍රේරණයට ලක්වීම මගින් තවදුරටත් සංකීර්ණ සංයෝග බිහි වීම සිදු විය හැකිය. අතීත පෘථිවියේ ඕසෝන් ස්ථරයක් නොමැති වීම නිසා පාරජම්බුල කිරණ සෘජුව පතිත වීම මගින් මෙම අවශ්‍යතාවත් සපිරිණ. මේ ආකාරයෙන් ජීවයට අත්‍යාවශ්‍ය හයිඩ්‍රො කාබන පළමුවෙන්ම ආදි සාගර වල බිහිවන්නට ඇති බව මුලින්ම ප්‍රකාශ කළේ ඇලෙක්සැන්ඩර් ඔපාරින් (1923) විසිනි. මීට සමාන මතයක් ඩාවින්ද දැරූ බව ඔහු විසින් 1871 දි ලියන ලද ලිපියක් මගින් හෙළිවී තිබේ. නමුත් ජෛව රසායනික පරිණාමවාදයේ පියා ලෙස සැළකෙන්නේ ඔපාරින්ය.

1953 වර්ෂයේදි ස්ටැන්ලි මිලර් හා හැරල්ඩ් යූරි විසින් චිකාගෝ විශ්ව විද්‍යාලයේදි ආදි පෘථුවි වායුගෝල තත්වයන් විශේෂ ඇටවුමක් තුළ ප්‍රතිනිර්මාණය කර ජීවයේ බිහිවීමට ඉතාමත්ම වටිනා ඇමයිනෝ අම්ල, රයිබෝස්, ඇඩිනීන් වැනි අණු නිස්සාරණය කරගැනීමට සමත් වූහ. ඔවුන්ගේ මෙම ඇටවුම මීතේන්, ඇමෝනියා, ජලය අඩංගු වායු කුටීරයකින්ද අතීත පෘථිවියේ අකුණු ගැසීම සැපයීමට අධි ශක්ති විද්‍යුත් විසර්ජන කුටියකින්ද යුක්ත විය. යූරි හා මිලර් පරීක්ෂණය මගින් ජෛව රසායනික පරිණාමවාදය විද්‍යාත්මකව සාධනය වූ අතර ඉතා මෑත කාලයේදි වඩාත් සංකීර්ණ පරීක්ෂණ මගින් විද්‍යාඥයෝ ඔලිගො නියුක්ලියෝටයිඩ පවා මේ ආකාරයෙන් බිහි කිරීමට සමත් වී ඇත. අතීත පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් බහුලව අඩංගු වූ අතර කාබන් ඩයොක්සයිඩ් හා ජලය පමණක් යොදා ගනිමින් ජෛවීය අණු බිහිකරගැනීමට හැකි වීමෙන් ඔපාරින්ගේ ජෛව රසායනික පරිණාමවාදය විද්‍යාත්මක ලෝකයේ ඉමහත් පිළිගැනීමට ලක්වී තිබේ.

Prehistoric insect පරිණාමවාදය

Dryinus Grimaldi, a prehistoric insect who lived about 20M years ago

අජීවී දෙයින් ජීවය බිහිවීමට ප්‍රෝටීන පැවතීම අත්‍යවශ්‍යය. එමෙන්ම ප්‍රෝටීන නිශ්චිත ආකෘතියකින් සංශ්ලේෂණය කිරීමට ඩී එන් ඒ හා ආර් එන් ඒ බිහි වීමත් අත්‍යවශ්‍යය. එමගින් ඩාවින්ගේ පරිණාමයට අදාල පරිණාමයද පැහැදිළි කර දිය හැක. අතීත සාගරයේ ජෛව රසායනිකව ජනනය වූ ඇමයිනෝ අම්ල හා නියුක්ලියෝටයිඩ මගින් ජීවය බිහිවීමට මූලාකෘති සකසනු ලැබීය. මෙලෙසම බිහිවන මූලික ලිපිඩ අණු මගින් ස්වභාවිකවම ද්විත්ව පටලමය සෛල බිහිවිය හැකිය. මූලික මේද ගෝලිකා වලට නියුක්ලියෝටයිඩ අන්තර්ග්‍රහණය වීමෙන් ස්වභාවිකව ප්‍රතිවලිත විය හැකි ක්ෂුද්‍ර ජීවි ප්‍රභේද බිහි විය හැකිය. ප්‍රෝටීන වල ද්විත්ව අයනික ස්වාරක්ෂක ගුණය මගින් බාහිර ජල අණු ආකර්ෂණය කරගෙන අවලම්බනය විය හැකි ජෛව ගෝලිකා නිර්මාණය වීම (කොඇසවේට) සෛලය පරිණාමය වීමේ මූලික අදියර ලෙස සැළකේ.

නිරන්තරයෙන් බිහිවූ මෙම කාබනික සංයෝග මගින් ආදි සාගරය කාබනික සංයෝග වලින් පොහොසත්ව ආදි සූපයක් නිර්මාණය වූ බවට සාධක තිබේ. මෙම ආදි සූපය තුළ කොඇසවේට හා එමගින් ආදිකාලීන ප්‍රාග්න්‍යෂ්ටික සෛල බිහිවූ බව වර්තමාන පිළිගැනීමයි. කොඇසවේට මගින් ලෝහ අයන අවශෙඔෂණය කරගැනීම මගින් මූලික එන්සයිම බිහිවූ බව විශ්වාස කරනු ලැබේ. මෙම එන්සයිම මිශ්‍රණයන් ආදි සූපයේ තිබූ මේද අම්ල මගින් බාහිරාවරණය වීමෙන් සැබවින්ම කෘත්‍යමය ජීවියෙක් බිහිවේ. ආදි පරිණාමය මගින් එම ජීව ඒකකයට ස්වයන් ප්‍රතිවලිත වීමේ හකියාව, ප්‍රතිලේඛන හා පරිවර්තන හැකියාව ලැබීම සමගම ඒ මූලික සෛල ඩාවිනීය ස්වභාවික වරණ යාන්ත්‍රණය අනුව විශේෂණය වීමෙන් ප්‍රභේදන බිහිවිය හැකි ජීවින්ගේ ආරම්භය ඇති කරයි. එදා සිට අද දක්වා ක්ෂුද්‍ර හා මහා පරිණාමයේ සිද්ධාන්ත අනුව විග්‍රහ කළ හැකි අයුරින් බැක්ටීරියා, ආකියා, ඒක සෛලිකයන, ශාක, දිලීර හා සතුන් අයන මේ සියලුම ජීවින්ගේ බිහිවීම පැහැදිළි කළ හැකිය. ජෛව රසායනික පරිණාමවදය කොස්මොසොයික වාදයටත් වඩා විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීමට භාජනය වන්නේ කොස්මොසොයික වාදයෙන් පෘථිවිය මත මූලික ජීවය ගැන පැහැදිළි කළත් එම මූලික ජීවින්ගේ බිහි වීම ගැන විග්‍රහ කළ නොහැකි නිසාය. කොස්මොසොයික වාදයට අනුව ජීවය පෘථිවියේ බිහි වුවත් එම ජීවින් වෙනත් පිටසක්වල ග්‍රහලොවක ජනනය වේ නම් ඒ ඒ ග්‍රහලෝකයට අදාළ වූ එක්තරා ජෛව රසායනික පරිණාමවාදයකින් විය යුතුය.

මේ වගේ තවත් ලිපි | Read more like this

මම දැනට වෛද්‍ය පීඨයේ අවසාන වසර ඉගෙනුම ලබමි. එමෙන්ම ජෛව රසායනය, අණුක ජීව විද්‍යාව, ස්වභාවික සම්පත් රසායනය හා ව්‍යාධි වේදය යන විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධව විශ්ව විද්‍යාල පර්‍යේෂිකාවකි.

Leave a Reply