කූඹියො – Koobiyo

~කූඹියො – Koobiyo – විද්‍යා ප්‍රබන්ධයකි~

මිනී සිනාවක් පෑවා.

ඔහුගේ කඩවසම් රුව සැඳෑ අව්වට දිලිසුණා වගෙයි. ඔහුගේ හිනාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

මිනී ඔහු වෙතට දිවගියා. මාස ගණනාවකට පසුත් ඒ උණුසුම එහෙමමයි. කුලීරථ රියදුරා ඔවුන් වෙතට ගෙනවුත් තැබුවේ සූට්කේස් දෙකක් පමණයි.

“කෝ ඔයා පොදි ගහගෙන ගියපු දේවල් ඈ???”

මිනී ඇහුවේ එදෙසට එබෙමින්.

“මට මොනවාද ගෙනාවවේ?”

“මං මොකටද ඔයාට මොනවත් ගේන්නේ???”

රජී ඇහුවෙ දඟකාර හිනාවක් පාමින්.

“ආෆෝ!!!”

මිනී ගස්සගෙන ගෙට යන්න හැරුණා. රජී ඉක්මනටම මිනීගෙ අතින් අල්ලා ගත්තා.

“මිනී…”

“මොකද ???”

“මං ඔයාට කිව්වේ…”

“ඉතිං මං කළා.”

“ඉතිං යමුකො”

ඒක නම් හිත උණුවෙන බැල්මක්.

“මේ දැන් ??? ඔයා ගේ ඇතුළට පයක් ගැහුවෙ නෑ… අම්ම මට මොනව නොකියයිද???”

මුකුත් නොකියූ රජී ඒ දිහාවට යන්න හැරුණා. කෝකටත් මිනී පෙරමුණ ගත්තේ කාලයක් තිස්සේ රජීට මෙහේ පුරුදු නැති හින්දයි. සූට්කේස් දෙකත් අතින් ගත් රජී මිනී පස්සෙන්…

රජීගේ මව්පියන් මෙහේ හිටපු හොඳම ගොවියන්. ඒත් රජී උනන්දු වුණේ වටපිටාවේ රහස් හොයන්නයි. ඔහු ඇමරිකාවේ විද්‍යා ආයතනයක පර්‍යේෂකයෙක් වෙන්නෙ ඒ උණ හින්දමයි. ලොකු ලොකු පිමි පැන පැන අලුත් දේවල් හුඟාක් හොයාගත් රජී, කාලයකට කලින් ගංගාවට යටවුණු ඔහුගේ ගොවිපොළ ගැන හදිස්සියේ උනන්දු වුණා. ඒ ගැන නම් මිනීත් පුදුම වුණා.

පාළුවට ගිය ගොවිපොළේ තිබුණේ අමුතු නිහඬබවක්. කාලෙකට කලින් වුණත් සතුන් සිටි නිසාත්, තෙතමනය නිසාත් වටපිටාව නම් තාමත් සරුපාටයි…

“මං මෙහෙට එද්දී මේක කෘමි වනාන්තරයක්!”

මිනී කිව්වේ ඔවුන් ගොවිපොළේ බිම් ගබඩාවට බහිද්දී.

“ඇත්තට… කවුද එතකොට මේක රෙපයාර් කරේ?”

“මම තමයි”

රජීගෙ ඇස්වල තිබුණේ පුදුමයත් එක්ක කැළතුණු හිනාවක්…

“නෑ ඉතිං කාන්තා පාර්ශවයට කුරුමිණියො, මකුළුවො, කූඹියො…”

“ඒ ඉස්සර රජී…”

මිනී කිව්වෙ ආඩම්බරෙන් වගේ.

“දැන් අපි ඕන දේකට ඔට්ටුයි”

“විශේෂයක්ද???”

රජී හාරාවුස්සන්න ගත්තේ සූට්කේස්වලින් ඉවතට ගත් නොයෙක් රසායන ද්‍රව්‍ය හා විවිධ බඳුන් රාක්කවල අහුරමින්… මිනීත් ඔහුට උදව් වුණා.

“මාත් ක්ෂුද්‍රජීවීන් ගැන හොයන්න පටන් ගත්තා, ඉස්කෝලේ ළමයින්ටත් විද්‍යාව ගැන හොයන්න විශේෂ ව්‍යාපෘති පටන්ගත්තා. අනාගතේදී හුඟක් පර්‍යේෂකයො මේ අවටින් බිහිවේවි.”

“හ්ම් ම්ම්ම්… කෙල්ල දියුණු වුණාලු ඉතිං”

“රජී දන්නවද මං අමුතු දිලීර වර්ගයක් ගැන දැනගත්තා. ඒකෙ හැසිරීම අනික් විශේෂ වලට වඩා වෙනස්…”

“ඒ කියන්නේ?”

ඇසිරීම ඉවර කර දැමූ රජී මිනී දිහාට හැරුණා.

“ඒ දිලීර වර්ගය කෝඩිසෙප්ස්… කෘමි, විශේෂයෙන්ම කුහුඹු වර්ගවල මනස වෙනස් කරලා උගෙන් වැඩ ගන්නවලු… ඌව ගහක් උඩට යන්න සළස්වලා මියගියාම දිලීරය වර්ධනය වෙලා පතුරාහරිනවලු. මම අර රතුකූඹි වර්ගයකට හරියන දිලීරයක් හොයාගත්තා… ඒක ගැන හොඳට හොයලාබලන්න මට ඕන”

“හේතුව??”

රජී මිනී වෙතට ළංවුණා.

“ඒක දියුණු කරලා පාලනය කරන්න පුළුවන් උනොත්…”

ඈ වෙත නැමුණු රජී ඇගේ දෙතොල් හරහා ඇඟිල්ල තැබුවා. ඔහුගේ මුවේ දිලුණේ ඈට වටහාගත නොහැකි සිනාවක්.

“මේක හරියට කියලා කෙරෙව්වා වගෙයි…”

රජී මිමිණුවා.

“මොකක්???”

“මෙච්චර දුර ගෙවාගෙන මං මෙහෙම ආවේ මොකකට කියලද හිතෙන්නේ ???”

නැගීහුන් රජී නැවත පියනැගුවේ ඔහුගේ රාක්කය වෙත, කුතූහලයෙන් පිරී ගිය මිනී එදෙසට ඇදීගියා.

“මීට අවුරුද්දකට විතර කලින් මට පැවරුණා, ආහාරයට ගන්නා බිම්මල් වර්ග විශාල කරන්න පුළුවන් සංයෝගයක් හදන්න. මොකද එතකොට බිම්මල් වලින් ලාභ ලබන්න පුළුවන් කාලෙ. මට හරි සංයෝගය ලැබුණේ වැරදීමකින්. ඉතිං මම ආහාරයට ගන්නා බිම්මල් වලට අදාළ සංයෝගය ඔවුන්ට දුන්නා… ඒත් ඒ සම්පූර්ණ ප්‍රතිඵලයේ කොටසක් විතරයි …”

“හාආහ්හ්”

මිනී ලොකූ හුස්මක් ඉහළට ඇද්දා.

“ඒ කියන්නෙ…”

රජීගේ මුව ජයග්‍රාහී සිනාවකින් පිරීගියා. ඔහුගේ අතෙහි වූයේ අවර්ණ නමුත් යම් දීප්තියක් දැක්වූ ද්‍රාවණයක් අඩංගු බෝතලයක්.

“මොකද කියන්නෙ මිනී… කැමතිද ඔයාගෙ ප්‍රියතම දිලීරය විශාල කරල බලන්න?”

“ඒත්… කූඹියො ???”

“මේක හරිගියොත් අපට කූඹි ගහණයම බේරගන්න පුළුවනන්! එන්නකො පෙන්නන්න…”

තරප්පුව දිගේ ඉහළට ඇදුණු රජී පැරණි ගවගාලට දිව ගියා, එහි වූ ලෑල්ලක විශාල පෙදෙසක කුඩා වර්ණවත් දිලීර විශේෂයක් තිබුණා. උපකරණ කීපයක් ඇසුරෙන් කොටස් කපාගත් ඔහු පිම්මේ ආවේ බිම්ගබඩාවටයි.

“මේක මෙන්න මෙහෙම දාල…”

දිලීර වීදුරු දීසියකට දැමූ රජී ද්‍රාවණය ඇතුළුව විවිධ රසායනික කීපයක් ඒ මතට දැමුවා. ඉන්පසු දීසිය ලෝහ පියනකින් වසා මිනිත්තු කීපයක් බලාසිටියා.

“ඕක ඉක්මනට අරින්නකො”

මිනීගේ නොයිවසිලිමත් වදන්…

රජී සෙමින් පියන විවෘත කළා. එතුළ වූයේ කීපගුණයක් ප්‍රමාණයෙන් විශාල වී ගිය දිලීර ජාලයයි…

“වෝඕහ්හ්…”

මිනීට කියවුණා.

“අදහන්නත් බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ යකාට ගියාවේ… මේ සංයෝගය මොකද්ද?”

“ඒ ඔක්කොම මං පළකරන්නයි ඉන්නෙ. ඒ ඔක්කොටම හරියන්න ඔයා දිලීරය පරික්ෂා කළොත් ඔයත් ප්‍රසිද්ධ කෙනෙක් තමයි”

අනාගත සිහිනයකින් මිනී ඇළලී ගියා, සිය පරික්ෂණ බඳුන් හා ආසාදිත රතු කුහුඹුවන් ගොවිපොළ වෙත රැගෙන එන්නට ඇයට ගතවුණේ පැයකටත් අඩු කාලයක්. ඔවුන් දෙදෙනා ඉතා උනන්දුවෙන් පිරික්සීම සඳහා දිලීර මාධ්‍යයන් සැකසුවා.

“හ්ම්… මං හිතුවට වඩා මේ විශේෂය ප්‍රමාදයිනෙ…”

රජී පැවසුවේ හිතේ අවුලෙන්, සිය සංයෝගය අසමත්වී ඇත්දැයි ඔහු බියවුණා.

“දැන් රෑ වෙන්නත් ළඟයි රජී, හැමෝම බලාගෙන ඇති ඔයාගේ ඇට්ටර වැඩවලට මට බනින්න. අපි හෙට උදේ එමු, ඇවිල්ල බලමු…”

රජී එකඟවුණේ කැමැත්තෙන් නම් නෙවෙයි.

මද අඳුරේම ඔවුන් ගම්මානය දෙසට ඇවිදගියා, අතරමගදී ඔවුන් අතර රජකළේ නිහැඬියාව පමණයි. ඔවුන්ගේ සිත් තුළ දහසක් සිතුවිලි මැවෙමින් මැකෙමින් තිබුණා.

නිවසට ආසන්න වත්ම ඔවුන් පුදුමවුණේ වටපිටාවේ පෙර නුවූ උත්සවශ්‍රීයෙන්. ගම්මානයේ ප්‍රභූවරුන් ඇතුළු අවශේෂ සියල්ලන් පර්‍යේෂකයා පිළිගැනීමට ආවා. ඔවුන් සාදය ඇරඹුවේ සිතාගත නොහැකිතරම් ඉක්මනින්…
නිවස තුළදී සිය ව්‍යාපාරික දෙමව්පියන් කළ ප්‍රකාශයට මිනී ප්‍රබල ලෙස විරෝධය දැක්වුවත් පලක් වුණේ නැහැ.

“මේ නිවාඩුව උපරිම විනෝදෙන් ඒ ළමයා ඉන්න ඕන. වැඩකරලයි මේ ඇවිල්ල ඉන්නේ, ඒ නිසා මේ හැම සාදයකටම, ගමනකටම එයා ඉන්න ඕන. ඒකට දවල් රෑ කියලා වෙනසක් නෑ… !!!”

*********************************

“ඇති යන්තම් මෙහෙමවත් බේරුණා.”

රජී කීවේ තරප්පුවේ ඉහළ දොර ඉවතට අදිමින්, ඔවුන් දිගු රබර් කබා ඇඟලා සිටියා. මිනීගේ මවුපියන්ගේ බලවත් කැමැත්ත මතයි සියල්ල සිදුවුණේ. රජී හා මිනීට දින කීපයක්ම පරීක්ෂණය මගහැරුණා.

“හොඳ වෙලාවට හැමෝම සවාරිය ගියා අපි දෙන්න ඇරෙන්න, නැත්නම් මෙහෙ ඇවිල්ලත් සාද දාන්න ගනීවි.”

මිනී කිව්වේ සමච්චලයට වගෙයි.

තරප්පුව බහින්න පටන්ගනිද්දිම ඔවුන්ගේ කකුල් අතරින් අමුතුම සතෙක් දිවගියා, මිනීගේ මුහුණේ රැඳුණේ ප්‍රශ්නාර්ථ බැල්මක්. තවත් මොහොතක් ගෙවෙද්දී අමුතු කුහුඹු රංචුව තරප්පුව නැග එන්නට පටන්ගත්තා.
කලබල වුණු රජී තරප්පුව පහළට පෙරළුණා වගෙයි, ඔහු එක්වරම බිම්ගබඩාවේ දොර විවර කළා.

sci-fi superant - කූඹියො

(Image source: wikimedia.org)

මිනී අත්ල මුවට තැබුවේ නැගුණු විලාපය මැඩගන්න, ගබඩාව හරියට වෙනම ලෝකයක් වගෙයි. බිම, වහළයේ, බිත්තිවල … ප්‍රමාණයෙන් විශාලව නැගුණු වර්ණවත් හතු වැනි ව්‍යුහයන්… ඒ අතරින් විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ කුහුඹුවන් නිසලව හා දුවමින් සිටියා. දෙයාකාරයේම සමහරුන්ගේ සිරුර තුළින් නැගුණු දිලීර අංකුර!!!

“අපොයි දෙවියනේ…!!!”

කෑගැසූ රජී මිනීව දොරෙන් ඉවතට තල්ලු කළත් මිනී දොරපලුව අල්ලාගෙන රැඳුණා.

“කො… කොහොමද එහෙම වෙන්නෙ …”

මිනී කෑගසමින් ඇසුවා.

“මට විශ්වාසයි අපි ඇතුළට ගෙනාවේ අර බිම්මල් කෑල්ලයි කූඹි ටිකයි විත…”

එක්වරම කතාව නැවතුණු රජීගේ බැල්ම ඔස්සේ නෙත් යොමු කළ මිනීට කෑගැසුණා. රසායන ද්‍රව්‍ය සියල්ල විසිරී ගිය රාක්කය අසළම බිම විශාල වර්ණ සංකීර්ණයන්ගෙන් හැඩවැටුණු හත්තක් පිපී තිබුණා. ඒ හත්ත තිබූ දුඹුරු පැහැ කවිච්චිය කුමක්දැයි ඔවුන්ට තේරුණා. සැබෑ ප්‍රමාණයෙන් සිය ගුණයක්… නැහැ: දහස් ගුණයක් පමණ විශාල වුණු කුහුඹුවෙක් ගෙ උර මතයි එය තිබුණේ… කූඹියාගේ විශාල අඬු හා ඇස් වල දර්ශනයෙන් ඔවුන් ත්‍රස්ත වුණා. අවට කුහුඹුවන්ද, හතු ව්‍යුහද විශාල වීම කෙමෙන් වේගවත් වුණේ බලාසිටියදී!!!

“මිනී දුවන්න…”

රජී එහෙම කියාගෙනම ආපසු හැරුණේ ලෝහමය යමක් අතට ගනිමින්. එක්වරම වහළයේ සිටි කුහුඹුවන් රොත්තක් දිලීර ජාලයක් සමගම ඔහු වෙතට කඩන් වැටුණා…

“ආආහ්හ්හ්…!!!”

මිනී මොරදුන්නා.

“රජීඊඊඊ…”

“යනවාආහ්හ්හ්…”

මිනී පසුනොබලා දුවන්නට වුණා, බිම්මහලෙන් තණකොළ වැවුණු මිදුළට බට ඈ පැකිළෙමින් වැලි මාවත දෙසට දිවගියා. නොනවත්වා නැගුණු කඳුළු ඇගේ දර්ශනය බොඳ කළා. එහෙත් එක්වරම පිටුපසින් ආ යමෙක් ඈවත් පෙරළාගෙන පාරෙන් ඉවත තිබූ ගස්ගොන්නක් වෙත පැන්නා. පැරණි ගොවිපොළ දෙසින් පිපිරුමක් සිදුවුණේ ඒ සමගමයි. ඔවුන් ඉවතට විසිවී ගියා.

සිහිඑළවාගත නොහැකි වූ මිනී මිනිත්තු කීපයක්ම සිටියේ ගල්ගැහිල වගෙයි. ඇගේ පසෙකින් වැතිර සිටියේ නොයෙක් සීරුම්වලින් හෙම්බත්ව ගිය රජී.

“මේක වෙන බවක් දැනන් හිටියද?”

මිනී ඇසුවේ රජීගේ රතුවී ගිය දෑස් දෙස බලාගෙන.

මුනිවත රැකි රජී ඔහුගේ දුර්වර්ණ ඇඟිලිතුඩු මත වූ ලෝහ මුදුව දෙස හිස් බැල්මෙන් බලාසිටියා.

Dedicated to: Rajitha Dissanayake
Special thanks to: Pasindu Sulochana, Anuranga Herath, Hashan Lakmal Uluvitiya

මේ වගේ තවත් ලිපි | Read more like this

Sci-fi writer | Guest writer